Hela Rahas

Hela Rahas Site

මුත්‍රා රෝග සුව කරන බිං කොහොඹ 

මෙම ශාකය සෙන්ටි මීටර් 15ක් පමණ උසට වැඩෙන කුඩා ශාකයක් වේ. බොහෝ විට අතු නොබෙදීමක් සිදුවන අතර කිරුලක් ආකාරයට පත්‍ර ගණව පිහිටා තිබේ. විවිධ හැඩයන්ගෙන් මෙම සංයුක්ත පත්‍රිකා පිහිටා තිබෙි. මෙහි පත්‍ර වල හැඩය අනුව ම බිං කොහොඹ ශාක ප්‍ර⁣භේද 10ක් පමණ හදුනාගත හැකි ය. මෙම ශාකයේ පුෂ්ප පෙති පහකින් සමන්විත වන අතර අලංකාර ⁣මෙන් ම සුවදවත් වේ. මෙම මල් ද ප්‍රභේද අනුව යම් යමි විවිධතා පෙන්නුම් කරයි. මෙම ශාකයේ බීජ ස්පෝටිකාවකින් වට වී ඇති අතර එම ස්පෝටිකාව පුපුරා යාමෙන් විසිරෙන බීජ තුළින් මෙම ශාකයේ ව්‍යාප්තිය සිදු වේ.මෙහි උද්භිද කුලය වන්නේ Meliaceae වේ.

බිං කොහොඹ දේශීය වෙදකම තුළ ඉතා ජනප්‍රිය ඖෂධයක් වේ. එබැවින් මෙහි වාණිජ වටිනාකම ද ඉතා ඉහලවේ.  බිං කොහොඹ හා සමාන තවත් ශාකයක් පවතින අතර එය හිං බිං කොහොඹ ලෙස ද හදුන්වා ඇත. එය වල් බිං කොහොඹ හා කිරාත වශයෙන් ද තව දුරටත් හදුන්වා දේ. එමෙන්ම සංස්කෘත භාෂාවෙන් භූ නිබ්බ හා කාල මේඝ යන නම් වලින් ද බිං කොහොඹ හඳුන්වා දී තිබේ.

දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් බින්කොහොඹ වෙනුවට හීන් බිං කොහොඹ ද  ඖෂධ නිශ්පාදනයේදී භාවිතයට ගනී. මෙම ශාකයේ ආයුර්වේද ගුණ පිළිබඳව විමසා බැලීමේදී 

  • උණ සදහා
  • ලේ පිරිසිදු වීමට
  • අතීසාරයට 
  • අජීර්ණ සඳහා 
  • මල බද්ධය සඳහා 
  • කුසගිනි වර්ධනයට 
  • වාතරක්ත සඳහා 
  • කුෂ්ඨ තුවාල හා වන වේදනා සඳහා 
  • චර්ම රෝග සඳහා 
  • අර්ශස් රෝගය සඳහා 
  • කඩුවේගන් සඳහා 
  • ඇදුම හා කැස්ස සඳහා 
  • රුධිර සංසරණය විධිමත් කිරීම සඳහා 
  • වමනය සඳහා
  • ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම සදහා.යනාදී රෝගාබාධ සඳහා මෙම බිං කොහොඹ යොදාගනී. 
  • තිත්ත කාරක ගුණයෙන් යුක්ත මෙම ඖෂධය රුධිරය පිරිසිදු කරන, මුත්‍රා රෝග සඳහා මෙන්ම වන ශෝධනය කරන, ඉදිමුම් නාශක ගුණයන්ගෙන් ද සමන්විත වේ.
  • ඉක්කාව සඳහා බිං කොහොඹ හා කොත්තමල්ලි ග්‍රෑම් 15 බැගින් සමව ගෙන තලා වතුර පත දෙකක් පත් බාගයට සිංදුවා මී පැනි සමග පානයට දීම යෝග්‍ය වේ.
  • වමනය සදහා වියලි බිං කොහොඹ චූර්ණය ග්‍රෑම් හයක් මී පැනි සමග ලේහ කිරීම සුදුසු වේ.
  • උණ සඳහා ප්‍රතිකාර කිරීමේදී ලබාදෙන සුදර්ශන චූර්ණයේ බහුලව අන්තර්ගතව ඇත්තේ බිං කොහොඹ වේ.
  • ප්‍රතිශක්තිකරණ වර්ධනය කිරීමට සුදුලූනු, යකිනාරං, පාවට්ටා, අරත්ත, බෙලි දලු, ඉගුරු, කොත්තමල්ලි, මදුරුතලා, වෙනිවැල් ගැට, බිං කොහොඹ, සමව ගෙන කොටා තම්බා උදේ සවස පානය කරන්න.

වටිනාකමින් අනූන දේශීය හෙල වෙදකම තුළ නැතිවම බැරි ඖෂධයක් ලෙස බිං කොහොඹ හඳුනාගත හැකිය.