Hela Rahas

Hela Rahas Site

දත් කැක්කුම සමනය කරන කරාබු නැටි සතු ගුණ 7ක්

Syzygium aromaticum යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කරාබු නැටි යනු කරාබු ගසේ මල් පොහොට්ටුවයි. එනම් කරාබු ගසේ පුෂ්පය වියළා කරාබු නැටි ලෙස භාවිතා කරනු ලබයි.මේවා තද සැර රසයක් සහ අපූරු සුවඳකින් යුක්ත වේ. මේවායේ ඇති ඖෂධීය ගුණය නිසාම රෝග රැසක් සමනය කිරීමට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ද කරාබු නැටි භාවිතා කරනු ලබයි.

ඊට අමතරව කරාබු නැටි යනු රසවත් කුළුබඩුවකි.වර්තමානය වන විට ලොව පුරාම රසවත් කෑම වල වැදගත් අංගයක් බවට කරාබු නැටි පත්ව තිබේ.එපමණක් නොව කරාබු නැටි ඛනිජ ලවණ, ප්‍රෝටීන්, විටමින් සහ ආහාරමය තන්තු වල ප්‍රභවයකි. කරාබු නැටි වල ඇති ඛනිජ වලින් සමහරක් නම් යකඩ, කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම්, පොස්පරස් සහ සෝඩියම් ය.

එසේම කරාබු නැටි වලින් ලබා ගන්නා කරාබු තෙල් වල ඖෂධීය ගුණය නිසාම එය සිරුරට ඉතාමත් ගුණදායකයි. එය ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අතර එමඟින් ශ්වසන ගැටළු සුව කිරීමට, රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට සහ සමේ ගැටලු රැසක් සමනය කිරීමට හැකිය.

ඇත්ත වශයෙන්ම කරාබු නැටි භාවිතයෙන් අපට ලැබෙන ප්‍රතිලාභ රැසකි.මෙම ප්‍රතිලාභ ලබා ගැනීමට නම් ඔබේ දෛනික ආහාරයේ කොටසක් ලෙස කරාබු නැටි ඔබට භාවිතා කළ හැකිය.ඒ සඳහා කරාබු නැටි මිශ්‍ර ශාකසාර තේ පානය කිරීම සහ කරබු නැටි කුළුබඩුවක් ලෙස භාවිතා කිරීම සිදු කළ හැකිය.එපමණක් නොව කරාබු නැටි තෙල් ශරීරයේ ගැල්වීමටත් ඔබට හැකිය.ඉතින් මෙලෙස කරාබු නැටි භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ කිහිපයක් මෙන්න.

1 .රුධිර සීනි මට්ටම නියාමනය කරයි: කරාබු නැටි යනු රුධිරයේ සීනි මට්ටම පහත හෙලන ස්වාභාවික ඉන්සියුලින් උත්තේජකයකි. අග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවීමේ සුමට ක්‍රියාකාරිත්වය කරාබු නැටි භාවිතා කිරීමෙන් ද පාලනය කළ හැකිය.

2 .ආහාර ජීර්ණය ආශ්‍රිත ගැටළු සමනය කරයි ; බඩ ඉදිමීම, ආමාශයේ ගැටලු, චලන අසනීප සහ පෙප්ටික් වණ වැනි ආහාර ජීර්ණය ආශ්‍රිත ගැටළු රැසක් සමනය කිරීමට කරාබු නැටි උපකාරී වේ.මන්දයත් කරාබු නැටි ආහාර ජීර්ණ පද්ධතිය නීරෝගි හා සෞඛ්‍ය සම්පන්න කිරීමට සහාය වේ. එසේම ඒවා ආමාශයේ ආහාර දිරවීමේ බලය වැඩි කරන ආහාර ජීර්ණ එන්සයිම උත්තේජනය කරයි.

3 .ආසාදන සුව කරයි: කරාබු නැටි බැක්ටීරියා නාශක ගුණයෙන් පොහොසත් ය. කරාබු වල ඇති ඉයුජෙනෝල් තෙල් බැක්ටීරියා, වෛරස් හා දිලීර ආසාදන මට්ටම අඩු කරයි.එසේම එය යීස්ට් ආසාදනය, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ ආසාදනය වැනි ආසාදනයක් සුව කිරීමටද සහාය වේ. එසේම සම ආශ්‍රිත බොහෝ ගැටලු සුව කිරීමටද කරාබු තෙල් භාවිතා කරනු ලැබේ.

4 .හෘද සෞඛ්‍යට හිතකරයි: කරාබු නැටි වල අඩංගු පොලිෆෙනෝල් සෞඛ්‍ය සම්පන්න කොලෙස්ටරෝල් මට්ටමක් පවත්වා ගැනීමට උපකාරී වේ.එසේම නීරෝගී හෘද සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා එය සහාය වන අතර LDL කොලෙස්ටරෝල් (නරක කොලෙස්ටරෝල්) අඩු කර HDL කොලෙස්ටරෝල් (හොඳ කොලෙස්ටරෝල්) වැඩි කිරීමටද සහාය වේ.

5 .දන්ත සෞඛ්‍ය නීරෝගි කරයි: නීරෝගී දන්ත සෞඛ්‍යයක් පවත්වා ගැනීමට භාවිතා කරන දත් බෙහෙත් වල කරාබු තෙල් වැදගත් අංගයක් ලෙස අඩංගු වේ. කරාබු නැටි මුඛයේ ඇති නරක බැක්ටීරියා මත ක්‍රියා කරන අතර නරක හුස්ම ගැනීම සහ දත් කැක්කුම සැලකිය යුතු ලෙස සමනය කිරීමටද උපකාරී වේ.එසේම සුළු දන්ත ගැටලු සමනය කිරීම සඳහා ද ඔබට කරාඹු නැටි කිහිපයක් සැපීම සිදු කළ හැකිය.

6 .මානසික ආතතිය දුරු කිරීමට සහාය වේ: ආතතිය අඩු කිරීම සඳහා භාවිතා කරන සම්බාහනය සහ සුවඳ විලවුන් ප්‍රතිකාර වලදී කරාබු නැටි සහ කරාබු නැටි තෙල් භාවිතා කරනු ලබයි. කරාබු නැටි තෙල් ආතතියට පත් වූ මනසක්, වෙහෙසක්, කාංසාවක් සහ හිසරදයක් සහිත වේදනාකාරී ශරීරයක් බොහෝ දුරට ලිහිල් කිරීමට උපකාරී වේ.

7 .සන්ධි වේදනාව සහ දැවිල්ල සමනය කරයි: කරාබු නැටි තෙල් ජනප්‍රිය වන්නේ සන්ධි ඉදිමීම සහ වේදනාව සමනය කිරීම සඳහා ය. තෙල් වල වේදනා නාශක ස්වභාවය හේතුවෙන් වේදනාව අඩු කර ගත හැකිය. කරාබු තෙල් භාවිතා කිරීමෙන් මාංශ පේශි වේදනාවද පාලනය කළ හැකිය.

කරාබු නැටි ඖෂධීය ගුණ රැසකින් සමන්විත වන බව දැන් ඔබට පැහැදිලිය.ඒවා භාවිතයෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ද රාශියකි.නමුත් මෙය අධිකව ප්‍රමාණය ඉක්මවා භාවිතයෙන් වැළකී සිටිය යුතුය.