Hela Rahas

Hela Rahas Site

මාදං සතු විස්මිත ගුණ 11 ක්

Syzygium cumini යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන මාදං කියන්නේ අපේ රටේ ඇති දුර්ලභ ගණයේ පලතුරක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. මේවා ඉන්දියාව, බංග්ලාදේශය, මැලේසියාව, ඉන්දුනීසියාව, චීනය, වියට්නාමය යන රටවල ද ව්‍යාප්ත වී ඇත.ඒ වගේම අපේ රටේ වියළි කලාපීය වනාන්තර, ලදු කැළෑ ආශ්‍රිතව මෙම පලතුර දැකගත හැකිය.

ඒ වගේම ඖෂධීය ගුණ රැසකින් සපිරි මාදං වලට ආයුර්වේදයේදී හිමි වන්නේ සුවිශේෂි ස්ථානයක්.මේවායේ ගෙඩි පමණක් නොව කොළ මෙන්ම පොතු ද ඖෂධීය භාවිතයන් සඳහා යොදා ගනී.ඊට අමතරව මාදං භාවිතයෙන් ජෑම්, ජූස් ආදී රසවත් ආහාර වර්ගද පිළියෙල කළ හැකිය.

තවද මාදං වල විටමින් K,C හා B ,ජලය, ප්‍රෝටීන්, කැල්සියම්,යකඩ, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම් ආදීය අඩංගු වන අතර ඒවා ආහාරයට ගැනීමෙන් අපට ලැබෙන ප්‍රතිලාභ ද බොහෝමයකි.ඉතින් අද අපි ඔබට කියන්නේ මාදං භාවිතයෙන් ඔබට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ කිහිපයක් පිලිබඳවයි.

1 .ප්‍රතිශක්තිය වැඩි කරයි ; මාදං වල විටමින් C සහ අනෙකුත් ප්‍රතිඔක්සිකාරක රැසක් අඩංගු වන අතර ඒවා සුදු රුධිර සෛල නිපදවීම උත්තේජනය කරමින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වේ. එසේම මාදං වල බැක්ටීරියා නාශක, දිලීර නාශක සහ වෛරස් විරෝධී ගුණාංග ඇති අතර එමඟින් බොහෝ රෝග වලින් ඔබව ආරක්ෂා කර ගත හැකිය.

2 .රුධිර සංසරණය වැඩි දියුණු කරයි ;සෞඛ්‍ය සම්පන්න රුධිර සංසරණය පවත්වා ගැනීමට සහ ඔක්සිජන් හා පෝෂ්‍ය පදාර්ථ ලබා දීමට අවශ්‍ය හිමොග්ලොබින් නිෂ්පාදනය සඳහා මාදං සාරයේ අඩංගු ප්‍රතිඔක්සිකාරක එන්සයිම ඉතා වැදගත් වේ

3 .බර අඩු කර ගැනීමට සහාය වේ ;මාදං වල අඩු කැලරි ප්‍රමාණයක් අඩංගු හෙයින් එය බර අඩු කර ගැනීමේ ආහාර වේලකට ඇතුළත් කළ හැකි ප්‍රිය උපදවන සුළු ආහාරයකි. තවද, එය ආහාරමය තන්තු ප්‍රභවයක් වන බැවින් ආහාර ජීර්ණය ප්‍රශස්ත කිරීමට සහ ඔබව පූර්ණ ලෙස තබා ගැනීමටද එය උපකාරී වේ.

4 .පිළිකාවට එරෙහිව සටන් කරයි ;මාදං වල ප්‍රතිඔක්සිකාරක බහුල ලෙස අඩංගු වන අතර එහි පිළිකා නාශක සහ රසායනික රෝග නිවාරණ ගුණාංග ද වේ. ඒ නිසා එය පිළිකා ඇති වීමේ අවදානම අවම කිරීමට පමණක් නොව පිළිකාවට ප්‍රතිකාර කිරීමේදී යම් අවස්ථා වල සහාය විය හැකිය.

5 .දියවැඩියාව පාලනය කරයි ;ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දියවැඩියාවට ප්‍රතිකාරයක් ලෙස මාදං අතීතයේ සිට භාවිතා කර ඇත. තවද අධ්‍යනයක් මඟින් හෙළි වී තිබෙන්නේ ද රුධිර ග්ලූකෝස් මට්ටම අඩු කිරීමට මාදං උපකාරී වන බවයි.

6 .සම ආශ්‍රිත ගැටළු සමනය කරයි ;මාදං වල ප්‍රතිඔක්සිකාරක බහුල ලෙස අඩංගු බැවින් එය සමේ රෝග වලට ප්‍රතිකාර කිරීමට උපකාරී වේ.එපමණක් නොව විටමින් A,විටමින් E සහ අනෙකුත් ප්‍රතිඔක්සිකාරක බහුල වීම නිසා මාදං වලට ඔක්සිකාරක ආතතිය අඩු කර දැවිල්ල අඩු කර සමේ පෙනුම වැඩි දියුණු කළ හැකිය.

7. හදවත ආරක්ෂා කරයි ; මාදං වල සැළකිය යුතු පොටෑසියම් ප්‍රමාණයක් අඩංගු වන අතර එමඟින් ඔබේ අධි රුධිර පීඩනය, ධමනි සිහින් වීම සහ හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කළ හැකිය.

8 – 11,වෙනත් ප්‍රතිලාභ

  • මූත්‍රා පිටවීමේ අපහසුතාවයන් සමනය කරයි.
  • දත් හා විදුරුමස් ශක්තිමත් කරයි.
  • උගුරේ අමාරු සමනය කරයි.
  • ආහාර අරුචියෙන් පෙළෙන පුද්ගලයින්ගේ ආහාර රුචිය වර්ධනය කරයි.

අතුරු ආබාධ

මාදං රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට දායක වන බැවින් එය දියවැඩියා ඖෂධ ගන්නා පුද්ගලයින්ට අනතුරුදායක විය හැකිය.එසේම එය කැටි ගැසීමේ කාරකයක් වන බැවින් ධමනි සිහින් වීම හෝ රුධිර කැටි ගැසීම පිළිබඳව රෝග ඉතිහාසයක් ඇති පුද්ගලයින්ට අහිතකර විය හැකිය.තවද මාදං අධික ලෙස පරිභෝජනය කිරීමෙන් කැස්ස, උණ, ශරීරයේ වේදනාව ඇති විය හැක.එම නිසා ප්‍රමාණවත් ලෙස මෙම පලතුර ආහාරයට ගැනීමට වග බලා ගන්න.