Hela Rahas

Hela Rahas Site

අම්ල පිත්ත රෝගය සුව කරන මී මල්

කෘෂිකාර්මික හා ඖෂධීය වශයෙන් වටිනා ශාකයක් ලෙස මී ශාකය පෙන්වා දිය හැකිය. ජෛව විවිධත්වය පෝෂණය කරන මී ශාකය  හරහා ලබාගන්නා පල ප්‍රයෝජන අති මහත් ය. අතීත පැරැන්නන් මෙම ශාකයේ  වටිනාකම මැනවින් අවබෝධ කරගෙන තිබූ අතර මී ශාකයේ  විවිධ කොටස් විවිධාකාරයට ප්‍රයෝජනයට ගෙන ඇත.

මී ශාකයේ පුෂ්ප කහ පැහැති සුදු පාටක් දැකගත හැකිය. එම පුෂ්ප ජුනි හා ජූලි මාසයන් වලදී හට ගනී. එමෙන්ම අළු පැහැති ඝන පිට පොත්තකින් මී ශාකයේ කඳ සමන්විත වේ. මී ඵල කොළ පැහැති කහ පැහැයෙන් යුක්ත වන අතර දුඹුරු  පැහැති දිලිසෙනසුලු බීජ දැකගත හැකිය.

දේශීය වශයෙන් ඉතා වටිනා ශාකයක් වන මී ශාකය කෘෂිකාර්මික කටයුතු සඳහා ද ප්‍රයෝජනවත් වේ. ඒ අනුව මී ශාකයේ  පත්‍ර වටිනා පොහොරක් වේ. තවද කුඹුරු ආශ්‍රිතව පවතින මී ගස් වල ගෙඩි කෑමට පැමිණෙන සතුන්ගේ බහිස්‍රාවී අපද්‍රව්‍ය ද අගනා පොහොර වේ. 

මී ශාකයේ ඖෂධීය ගුණයන්

ඒ අනුව මී ශාකයේ කොල, පොතු, මල්, ගෙඩි , ඇට ආදිය ඖෂධ සැකසීමේදී යොදාගනු ලැබේ. අතීසාරය, වාත රෝග , චර්ම රෝග , ක්ෂය රෝගය , ග්‍රහණි රෝග , උගුරේ ආබාධ , ඉක්කාව, කැඩුම් බිඳුම් , සර්ප දෂ්ට කිරීම්, ලිංගික ආබාධ , ස්නායු උත්තේජන කිරීම, තුනටිය වේදනාව , මුත්‍රා අඩස්සිය , ලිංගික අප්‍රාණිත්වය ආදී රෝග රැසක් සඳහා භාවිතා කරයි.

  • පෙන්වා දිය හැකිය. ඒ අනුව ශරීරයේ උෂ්ණත්වය පාලනයකට ලක්කොට ශරීර වේදනාවන් සමනය කර ගැනීමේදී මී  ශාකයේ නොමේරූ ගෙඩි ව්‍යාංජනයක් ආකාරයට සකසා ආහාරයට ගනියි.
  • අම්ල පිත්ත රෝගය හෙවත් ගෑස්ට්‍රයිටීස් රෝගය සඳහා මී මල් උපයෝගී කරගෙන සකසන හැලප හෝ රොටී ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
  • හන්දිපත් වේදනා, තුනටිය කැක්කුම් හා වාත අමාරැ සුව කර ගැනීමේදී මී තෙල් යොදාගනී.
  • ශරීර වේදනාවන් සුව කර ගැනීම සදහා මී ඇට, එඬරු ඇට, දොඹ ඇට, තල , අබ, කොට්ට පොල් ආදිය ගෙන ඒවා කොටා පොට්ටනි බැඳ වේදනාවන් පවතින ස්ථාන තැවීමක් සිදුකරයි.
  • පුරුෂ වඳ භාවය සුවකර ගැනීම සඳහා මී මල් වලින් සැකසූ ආහාර සුදුසු වන අතර ශරීර කෙට්ටු භාවය අවම කර ගැනීම සඳහා මී තෙල් වලින් පිසූ ආහාර ලබා ගැනීම යෝග්‍ය වේ.
  • ශරීරයේ පවතින ස්නායූ ප්‍රකෘතිමත් කිරීමටත් ඒවා ශක්තිමත් කිරීමටත් මී තෙල් වලින් පිසූ අහාර භාවිත කිරීම ⁣සුදුසු වෙි. එමෙන්ම කිරි දෙන මව්වරුන් සඳහා ක්ෂීර වර්ධනයට මෙම තෙල්වලින් පිසින ආහාර සුදුසු වේ.
  • ලිංගික අප්‍රාණිකත්වය සඳහා මී ඇට වලින් ලබාගන්නා තෙල් ආලේපනයක් ලෙස භාවිත කිරීම යෝග්‍ය වේ.
  • අතීසාරය හා බඩේ අමාරුකම් සඳහා මී මල් කොටා එම ඉස්ම තේ හැන්දක් පමණ ලබා දෙනු ලැබේ. මෙම ඖෂධය ම ආර්තව වේදනාවන් විදින අය සඳහාත් ,මුත්‍රා අඩස්සිය රෝගය සඳහා ත් යොදාගනී.
  • මේ ශාකයේ පුෂ්ප ලබාගෙන ඒවායෙන් රසවත් ආහාරක් වන මී මල් හැලප සකසා ගනී. මීට අමතරව මී මල් මිරිකා ලබා ලබා ගන්නා ඉස්ම සිදුවා මී මල් පැණි සකසයි. තව ද මී ඇට ඇට වලින් ලබාගන්නා තෙල් ආහාර පිසීමටත් , ඖෂධයක් ලෙසත්, පහන් දැල්වීමටත් යොදා ගනී. මී තෙල් සීදීමේදී ඉතුරු වන මී මුරැ ඖෂධ ලෙස සහ සත්ව  ආහාර ලෙස භාවිත කරයි. එමෙන් ම නොමේරැ මී ගෙඩි ව්‍යංජනයක් ආකාරයට ද සුදුසු වේ. ඉහත දක්වා ඇති ආකාරයට මී ශාකය ඖෂධීය වශයෙන් ඉතා වටිනා දේශීය ශාකයක් ලෙස හඳුනාගත හැකිය.

ඔබත් මෙම ඖෂධය භාවිත කරන්නේ නම්  ඊට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබාගන්න.