Hela Rahas

Hela Rahas Site

සැවැන්දරා ශාකය සතු ඖෂධීය ගුණ 8 ක්

Vetiveria zizanioides යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන සැවැන්දරා යනු මානා වර්ගයට අයත් තෘණ පැළෑටියකි.ඖෂධීය ගුණ සං‍යෝග රැසකින් සමන්විත සැවැන්දරා ආයුර්වේදයේදී බොහොමයක් රෝග සමනය කිරීමට යොදා ගනී.විශේෂයෙන් ආයුර්වේදය තුළ සැවැන්දරාට හිමිව ඇත්තේ සුවිශේෂි වටිනාකමකි.එපමණක්ම නොව ආයුර්වේදයේදී යොදා ගනු ලබන සුවඳවත්ම ඖෂධය ලෙස ද සැවැන්දරා සලකනු ලැබේ.එනිසාම සුගන්ධි මූල, ශීත මූල , සුවඳ හොට , හරිප්‍රිය , උශිර, නලද, ජල, අභය, අවදාත, ඉන්ද්‍රගුප්ත, ජිත, උශිරක ආදි නම් ගණනාවකින් එය හඳුන්වනු ලැබේ.

එසේම ඉන්දියාවේත්, අපේ රටේත් දක්නට ලැබෙන මෙම ඔසු වර්ගය විශේෂයෙන් මෙරට ඕනෑම ප්‍රදේශයක වවා ගැනීමේ හැකියාව පවතී.තවද ඖෂධීය භාවිතයන්ට අමතරව රූපලාවන්‍ය භාවිතයන් සඳහා ද යොදා ගන්නා මෙය සිරුරේ අභ්‍යන්තර මෙන්ම බාහිර වශයෙන්ද යොදා ගනු ලබයි. එසේම ඖෂධ සඳහා වැඩි වශයෙන් යොදා ගැනෙන්නේ සැවැන්දරා ශාකයේ මුල් කොටසයි.

එසේම තිත්ත හා මධුර රසයෙන් යුක්ත සැවැන්දරා සිරුරේ දැවිල්ල සමනය කිරීමේ සිට ආහාර අරුචිය නැති කිරීම දක්වා ඖෂධීය ගුණ රැසක් අපට ලබා දේ.ඉතින් මෙතරම් භාවිතයන් රැසක් ඇති සැවැන්දරා සතු ඖෂධීය ගුණ කිහිපයක් මෙන්න.

1 . දැවිල්ල අඩු කිරීමට බෙහෙවින් උපකාරී වේ ; සියලු වර්ගවල දැවිල්ලට ප්‍රතිකාර කිරීම සඳහා සැවැන්දරා කසාය භාවිතා කළ හැකි අතර තාප ආඝාතය සහ විජලනය හේතුවෙන් ඇති වන දැවිල්ලට එරෙහිව එය විශේෂයෙන් ක්‍රියාකාරී වේ. ඔබ දැවිල්ලෙන් පීඩා විඳිනවා නම්, සැවැන්දරා වතුර කෝප්පයක් පානය කිරීමට උත්සාහ කරන්න.එය ඉතා ඉක්මනින් දැවිල්ල අඩු කිරීමට බෙහෙවින් උපකාරී වේ.

2 . තුවාල ඉතා ඉක්මනින් සුව කිරීමට සහාය වේ; සැවැන්දරා වල ප්‍රබල ප්‍රතිබැක්ටීරීය ගුණ ඇති අතර විශේෂයෙන් ඒවා තුවාල වේගයෙන් සුව කිරීමට උපකාරී වේ.එබැවින් සුළු තුවාල වලට ප්‍රතිකාර කිරීම සඳහා ඔබට සැවැන්දරා ජලය භාවිතා කළ හැකිය.

3 . කාංසාව අඩු කරයි:සැවැන්දරා වල සුවඳ අපේ ස්නායු වලට හිතකර බලපෑමක් ඇති කරන අතර අපගේ මොළය සන්සුන් කිරීමට එය උපකාරී වේ.එසේම එය මානසික ආතතිය අඩු කිරීමට උපකාරී වන අතර මානසික ගැටලු වලින් පෙළෙන අයට ඉතාමත් ගුණදායක වේ. මේ සඳහා ඔබට සැවැන්දරා තෙල් ද භාවිතා කළ හැකිය

4 . ඔබේ සම සහ හිසකෙස් නීරෝගී කරයි ; සම රැළි වැටීම, නොමේරු වයසට යාම ආදී සම සම්බන්ධ ගැටළු රැසක් සමනය කිරීමට සැවැන්දරා සාරයට හැකිය.එබැවින් සැවැන්දරා සාරය අපේ සමට නිතර භාවිතා කිරීමෙන් දිගු කලක් සම සජලීයව තබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.එසේම එය කුරුලෑ සුව කිරීමට ඉතා ඵලදායී ප්‍රතිකාරයක් වන අතර කුරුලෑ කැලැල් සහ ලප කැලැල් ඉතා ඉක්මනින් මැකී යාමට ද උපකාරී වේ.

5 . ක්ෂය රෝගයට සහනයක් ලබා දේ ;සැවැන්දරා සාරයෙහි අපූරු ප්‍රතිබැක්ටීරීය ගුණ ඇති අතර ඒවා ක්ෂය රෝගයට එරෙහිව ඉතා ඵලදායී ලෙස ක්‍රියා කරයි.

6 . ප්‍රතිදේහජනක ගුණ අඩංගු වේ ; සැවැන්දරා වල ඇති තවත් සුවිශේෂි ගුණයක් නම් එය සතුව ප්‍රතිදේහජනක ගුණ තිබීමයි.එබැවින් අතීතයේ සිටම වලිප්පුව සඳහා ප්‍රතිකාරයක් ලෙස එය භාවිතා කර ඇත.

7 . ස්වාභාවික ටොනික් එකක් ලෙස කටයුතු කරයි ; සැවැන්දරා ජලය ඇත්තෙන්ම ස්වාභාවික ටොනික් එකක් වන අතර එය අපගේ ශරීරය ප්‍රබෝධමත් කිරීමට සහ ප්‍රතිශක්තිකරණ ශක්තිය ඉහළ නැංවීමට උපකාරී වේ.එසේම එය තෙහෙට්ටුව සමනය කිරීමට, ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීමට සහ ආතතිය අඩු කිරීමට ද උපකාරී වේ.එබැවින් අධික උෂ්ණ කාලවලදී මෙම ස්වාභාවික ටොනික් එක නිතිපතා ඔබේ ආහාර වේලට ඇතුළත් කර ගැනීමට ක්‍රියා කිරීමට ඔබට හැකිය.

භාවිතා කළ හැකි ආකාර

  • සැවැන්දරා කුඩු සුදු හඳුන් සමග ඇල්දියෙන් අනා මුහුණේ ගෑමෙන් කුරුලෑ ලප කැලැල් වලින් තොර පැහැපත් සිනිඳු සමක් ලබා ගත හැකිය.
  • හිසරදය ඉක්මනින් දුරු කර ගැනීමට සැවැන්දරා තෙල් භාවිතා කළ හැකිය.
  • සන්ධි වේදනා සමනය කිරීම උදෙසා සැවැන්දරා තෙල් භාවිතා කළ හැකිය.
  • සැවැන්දරා මුල් දල්වා එහි දුම නාසය ට ආශ්වාස කිරීමෙන් හිසරදය සමනය කර ගත හැකිය.
  • වතුර කලයකට වියලි මුල් කීපයක් දමා සැවැන්දරා වතුර පිළියෙල කර ගත හැකිය.නමුත් මෙම පානය අධික ලෙස භාවිතයෙන් වැළකී සිටිය යුතුය.අධික ලෙස පානය කිරීමෙන් යම් අහිතකර තත්ත්වයන් ඇති විය හැකිය.

මතක තබා ගන්න ;සැවැන්දරා යනු වටිනා ඖෂධයක් බව සැබෑය.නමුත් ඔබ මෙම ඔසුව භාවිතා කරන්නේ නම් නිසි වෛද්‍ය උපදෙස් මත භාවිතා කිරීමට කටයුතු කරන්න.කිසි විටෙක ඖෂධ සඳහා ආදේශකයක් ලෙස භාවිතා කිරීමෙන් වළකින්න.ඔබ යම් රෝගයකින් පෙළෙන්නේ නම් හැකි විගස වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන්න.