.

මුඛය අපිරිසිදුවට තබා ගත්තොත් ඔබ ඉවරටම ඉවරයි

Loading...

මුඛය අපිරිසිදුවට තබා ගත්තොත් ඔබ ඉවරටම ඉවරයි

මුඛය අපිරිසිදුවට තබා ගැනීම නිසා විවිධ මුඛ රෝග වලට ගොදුරු වීමේ අවදානමක් පවතින අතරම විවිධ අපහසුතාවයන්ට ලක් වන්නට අපට සිදුවෙනවා. එනිසා මුඛය අපිරිසිදුවට තබා ගැනීමෙන් හට ගන්නා රෝගී තත්වයන් පිළිබඳවත් මුඛය පිරිසිදුවට තබා ගැනීම පිළිබඳවත් පිළිසඳරෙහි යෙදෙන්නට මෙවර අපි අදහස් කළා.

1. වෛද්‍යතුමනි, මුඛය අපිරිසිදු වීම ලෙස අදහස් වන්නේ කුමන තත්වයක් ද?

අපිරිසිදු මුඛයක් යන්නෙන් අදහස් වන්නේ නිසියාකාර පිරිසිදු කිරීමකින් තොරව දිනපතා දෙවරක් දත් මැදිම, දත් පරික්ෂාකර ගැනීම, දත් සුද්ධ කිරීම  (Scaling) වැනි දේ ගැන නොසලකා හැර ඇති මුඛයකටයි.

2. මෙසේ මුඛය අපිරිසිදු වීම නිසා හට ගන්නා රෝගී තත්වයන් මොනවා ද?

ඉහත හේතූන් මුඛය අපිරිසිදු වීමට හේතුවන අතර පරිදන්ත රෝග (Periodontal diseases– දත් හා බැඳුණු පටක ආසාදන), දන්ත ව්‍යසනය (Dental Caries – දත් දිරායාම), දත් කැක්කුම, දත් දුර්වර්ණ වීම, මුඛය ගඳ ගැසීම, විදුරුමස් වලින් ලේ ගැලීම, දත් සෙලවීම වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකිය. තව ද දත්වල සහ මුඛයේ ඇති රෝගී තත්වයන් නිසා නිසියාකාරව ආහාර ගැනීමට නොහැකි වීම, විකෘති වූ සහ දුර්වර්ණ වූ දත් නිසා සමාජයේ කොන්වීමට ලක්වීම වැනි දේ සිදු විය හැකියි.

3. වෛද්‍යතුමනි,  මීට අමතරව  මුඛ රෝග වැළදීමට බලපාන වෙනත් හේතු සාධක තිබේ ද?

සීනි සහිත ආහාර (චොක්ලට්, පැණි බීම, පැණි රස කෑම වැනි දෑ) අධික ලෙස ආහාරයට ගැනීම මුඛ රෝග ඇතිවීමට බලපාන තවත් හේතු සාධකයකි. මෙය දත් දිරායාමට බලපාන ප්‍රධාන සාධකයක් ලෙස විද්‍යාත්මක පරීක්ෂණ මගින් ඔප්පු වී ඇත.
ලංකාවේ දක්නට ලැබෙන
දත් දිරායාමේ ව්‍යා ප්තිය

අවු 5 දරුවන් අතර  65.30%

අවු 12 දරුවන් අතර          39.20%

අවු 15 දරුවන් අතර          52.20%

වැඩිහිටියන් අතර    89.98%

මීට අමතරව බුලත් විට කෑම, දුම් බීම සහ කුඩා කාලයේ දී ඇඟිලි බීම වැනි පුරුදු නිසා මුඛ රෝග සහ දත්වල විකෘතිතා ඇති විය හැකිය.

4. මුඛ රෝගී තත්වයන් හටගත් අවස්ථාවලදී පිළිපැදිය යුතු විශේෂිත සෞ ඛ්‍ය පුරුදු සහ ප්‍රතිකාර විධි මොනවා ද?

මුඛ රෝගී තත්වයන් හටගත් අවස්ථාවලදී ඒ සඳහා විවිධ අත් බෙහෙත් පාවිච්චි කිරීම සුදුසු නැත. එවැනි අත් බෙහෙත් මගින් රෝගය තාවකාලිකව යටපත් කිරීමක් සිදුවිය හැකියි. නමුත් එය නැවතත් මුල් තත්වයට වඩා දරුණු ලෙස මතුවන්නට පුළුවන්. එබැවින් සුදුසුකම් ලත් දන්ත වෛද්‍යවරයෙකු හමු වී තමාගේ රෝගි තත්වයට ප්‍රතිකාර ලබා ගැනීම කළ යුතුය. දන්ත වෛද්‍යවරයා ඔබ පරීක්ෂාකර ඔබගේ මුඛ රෝගය සුව කරගැනීමට අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබාදෙනු ඇත. එසේම වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නම් අදාල විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කරනු ඇත.
එසේම නිතිපතා තම මුඛය පිළිබඳ සැලකිලිමත් වීම සහ මාස 6 කට හෝ අවුරුද්දකට වතාවක් දන්ත වෛද්‍යවරයෙකු ලවා මුඛය පරීක්ෂාකර ගැනීම කළ යුතුය.

5. එසේම වෛද්‍යතුමනි, මුඛය පිරිසිදුව තබා ගැනීමටත්, මුඛ රෝග වලක්වා ගැනීමටත් අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු, ආහාර රටා මොනවා ද?

නිසි පරිදි දත් සහ මුඛය පිරිසිදු කරගැනිම ඉතා වැදගත්. ඒ සඳහා අනුමත දත් බුරුසුවකින් නිසියාකාරව දත් මැදිම කළ යුතුය. රාත්‍රී ආහාරයට පසු දත් මැදීම ඉතාම අවශ්‍ය කරුණකි.
ප්‍රධාන ආහාර වේල් අතරට සීනි සහිත ආහාර ගැනිම ද දත් දිරායාමට බලපාන ප්‍රධාන හේතුවකි. තවද සීනි සහිත ආහාර අධික ලෙස ආහාරයට ගැනීමෙන් වැලකීම ද වැදගත්ය.
එසේම බුලත් විට කෑම නිසා මුඛ පිළිකා ඇති විය හැකි බව සොයාගෙන ඇති අතර දත් සහ මුඛය දුර්වර්ණ විම ද සිදු වේ.

තවද දරුවන් කුඩා කලදීම ඇඟිලි ඉරීම වැනි අහිතකර පුරුදුවලින් වලක්වා ගැනීමට ද දෙමව්පියන් උනන්දු විය යුතුය.

මේ අයුරින් මුඛය පිරිසිදුව,නිරෝගීව තබා ගැනීමට කෙනෙකුට හැකි වුවත් සැබෑ පිරිසිදුකම එතුළින් ඇති නොවේ. ඒ මුඛයෙන් පිටවන වදන් අපිරිසිදු නම්, එනම් පිටවන්නේ බොරුවක් නම්, කේළමක් නම්, පරුෂ වචන නම්, හිස් වචන නම් ඒ මුඛය නිසාම බොහෝ දුක් ඇති සසරේ බොහෝ දුර යන්නට වෙනවා. වචනයෙන් අසංවර වීම නිසා ඌරෙකුගේ වැනි මුඛයක් ලැබූ ප්‍රේතයෙකු පිළිබඳවත් (සූඛරමුඛ ප්‍රේත වස්තුව), මුඛය කකා සිටින පනුවන් පිරුණු, ඉතා දුගඳ මුඛයක් ලැබූ ප්‍රේතයෙකු පිළිබඳවත් (පූතිමුඛ ප්‍රේත වස්තුව) ඛුද්දක නිකායේ ප්‍රේත වස්තු පාළියේ දී අපට දැනගන්නට ලැබෙනවා.
එනිසා මෙලොවට පමණක් නොව සසරටම සුවඳක් වූ සුවයක් වූ මුඛයක් ඇතිකර ගැනීම පිණිස පිරිසිදු වදන් එනම් සම්මා වාචා මාර්ගාංගය පුරුදු කළ යුතුයි. භාග්‍යවතුන්වහන්සේ පෙන්වා වදාළ සොඳුරු අරි අටඟි මග ගමන් කොට සොඳුරු නිවනට වැඩි උතුම් මුණිවරු සියලූ දෙයට නො ඇලී වසන්නේය. කෙනෙක් දිවට දැනෙන රසයටත් නොඇලෙන්නේ නම් එවැනි මුඛයක් සහිත කෙනා කෙතරම් වාසනාවන්තද?
තෙරුවන් සරණයි !

පුණ්‍යානුමෝදනාව
මුඛ හා හනුක ශෛල්‍ය වෛද්‍ය විශේෂඥ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
වෛද්‍ය පරාක්‍රම විජේකෝන්
දන්ත වෛද්‍ය පීඨය පේරාදෙණිය විශ්ව විද්‍යාලය
සංවාද සටහන
පියුම්නිල් ගමගෙදර

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment